Monday, December 18, 2017

ලොවීනා

රාගය තිබෙන තැනක ආදරය තියෙන්න  පුලුවන්ද?බැහැ...රාගය තිබෙන තැනක ආදරය තියෙන්න බෑ.හැබැයි ආදරය තිබෙන තැනක රාගය තියෙන්න ඕන.මොකද ගැහැනියක් හා පිරිමියෙක් අතර හට ගන්නා ආදර සම්බන්ධයේ අවසාන ඵලය වන්නේ ලිංගික සුවය.ඕක තමයි යතාර්ථය.

අතීතයේ රජවරුන්ට විශාල අන්තප්පුර තිබුනා.හැබැයි වැරදිලාවත් බිසව හීනෙන් හරි වෙනත් පිරිමියෙක් සමග බැදුනොත් ඇයට සහ ඇගේ අනියම් පුරුශයාට හිමි වන්නේ මරණය.ඒ කියන්නේ කාන්තාවන් පුරුශාධිපත්‍යට යට වෙලා.ඔව් එදා කාන්තාව සහ අද කාන්තාව අතර වැඩි වෙනසක් නෑ.මේ දෙගොල්ලො වෙනස් වෙන්නේ කාලය නිසා පමනයි.

මේ යතාර්ථය තමයි මොහාන් රාජ් මඩවල "ලොවීනා" තුළින් කතා කරන්නේ.
නිල බලය,ධන බලය,මුදල් බලය පදනම් කරගෙන තමන් කැමති ඕනම කාන්තාවක් එක්ක යහන් ගත වෙන්න පුලුවන්.ඒක එකල සහ මෙකල බලවතුන්ටත් පොදු රීතියක්.එහිදී ඒ කාන්තාවගේ ධනය,බලය,කුලය,ජාතිය අදාළ වෙන්නේ නෑ.ඒ සියල්ල වලංගු වෙන්නේ මතුපිට සාමාජය තුළ පමනයි.මොහාන් මේ සියලු කාරණා කාන්තාවන් තිදෙනෙක් මුල් කරගනිමින් හරි අපූරුවට  පවසනවා.මෙහිදී කතුවරයා යතාර්ථවාදී රීතිය මෙන්ම මායා යතාර්ථවාදී රීතියද මෙහිදී යොදා ගෙන තියෙනවා.කොහොම උනත් ඒ හැමදේම ඇතුලේ කතුවරයා කියන්න උත්සාහ කරන්නේ විශාල සමාජ ප්‍රශ්නයක් .යොදා ගෙන තියෙන චරිත සහ සිද්දි නිසා මේ කතාව එක හුස්මට කියවගෙන යන්න පුලුවන් .එච්චරට ආකර්ෂණීයයි.ඒ නිසා මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා " අරන් කියවන්න .අපූරු අත්දැකීමක් ලබන්න පුලුවන්.

අම්මා

මැක්සිම් ගෝර්කි කිව්ව ගමන් අපට මතක් වෙන්නේ ඔහු රචනා කරපු "අම්මා" නවකතාව.මුලු ලෝකයක් ආදරය කරපු නවකතාවක් බවට පත් වෙන්න මේ පොතට හැකි වෙනවා.ගෝර්කි තමන්ගේ මවට ගොඩක් ආදරය කරපු කෙනෙක් .හැබැයි ඔහුගේ ලමා කාලය කොහෙත්ම සුන්දර උනේ නෑ.මොකද ගෝර්කි හැදී වැඩෙන්නේ තමන්ගේ ආච්චි සහ සීයා ලග.ගෝර්කිගෙ සීයා ගොඩක් දරදඬු පුද්ගලයෙක්.ඔහුගේ තාඩන පීඩනයන්ට ලක් වෙන්න ගෝර්කිට සිදු වෙනවා .ඒ සෑම අවස්තාවකම ගෝර්කිව සනසන්නේ ගෝර්කිගෙ ආච්චි .කොහොමින් කොහොමහරි ගෝර්කි පාසල් යන්නේ තුනේ පංතියට විතරයි .ඊට පස්සේ ඔහු විවිධ රැකියාවල් වල නිරත වෙනවා .ගෝර්කි පොත් කියවන්න රුචියෙක්.අපේ වචනයෙන් කිව්වොත් ඔහුට පොත් කියවන්න ලොකු උනක් තිබුනා.ඒ උන තමයි ඔහුව රුසියාවේ මහා ගත්කතුවරයා කියන තැනට ගෙනාවේ .

රුසියාවේ සාර් පාලනය සිදු අවදියේ තමයි ගෝර්කි අම්මා පොත ලියන්නේ.සාර් පාලන යුගයේ ලෝකයේ අදුරු යුගයක් ලෙස සැලකෙනවා.ඒ පාලනය ඉවසා ගත නොහැකිව රටේ තරුණ පිරිස් රහසේ සංවිධානය වෙලා අරගල කරනවා.මේ ක්‍රියාදාමය තුළ අම්මාගේ භූමිකාව ගැන තමයි ගෝර්කි තම පොතෙන් කතා කරන්නේ.ඔහු සාර් පාලන යුගයේ සිටි සමස්ථ මව්වරුන්ට  විදින්නට සිදු වූ ගැහැට පිලිබඳව ඔහු මේ පොතෙන් හරි අපූරුවට කතා කරනවා .සමස්ථ සමාජයේම අම්මා බවට පත් වෙන්න මේ පොතට හැකි වෙන්නේ ඒ නිසා .

මේසා විශාල අරගලයක් පිටුපස අම්මාගේ ශක්තිය,ඇයගේ දරා ගැනීම ,ඇය මේ සදහා කල කැපවීම් ගෝර්කි අපූරු සිද්දි දාමයක් ඔස්සේ කතා කරනවා .

ගෝර්කිගෙ අම්මා නවකතාව රුසියාවට විශාල  ශක්තියක් වුනා .ඒ රුසියානු විප්ලවය ජයග්‍රහණය කරන්න .එදා රුසියාවට ශක්තියක් වුනු අම්මා  අද ඔබේ ජීවිත විප්ලවය ජයග්‍රහණය කරන්න ඔබට විශාල ශක්තියක් වනවාට කිසිදු සැකයක් නෑ.ඒ නිසා අදම අම්මා කියවන්න .

Wednesday, December 6, 2017

සෙංකොට්ටන්

සෙංකොට්ටන්. නම ටිකක් විතර අමුතුයි.ඒ හින්දමයි පොත අරන් කියවන්න හිතුනෙ.මේක ලියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.එක හුස්මට කියවලා ඉවර කලා.එච්චරට ලස්සනයි මේ කතාව.ඔන්න එහෙනම් කතාව අහගන්නකෝ.කෙටියෙන් කිව්වොත් මේ කතාවෙන් කියවෙන්නේ සමාජයේ පවතින කුල භේදය පිලිබඳව.රදළ, වංශවත් ,මාන්නක්කාර මිනිස්සු සමාජයේ කුල හීන යැයි සම්මත මිනිසුන් තලා පෙලා සූරා දමන ආකාරය මෙහිදී හරි අපූරුවට නිරූපනය කරනවා.මේ තතු විත්ති අද සමාජයටත් හරි අපූරුවට වලංගු වෙනවා.මේ කතාවේ කතා නායකයා වෙන්නේ වීරප්පුලි හේනයා.ඔහුගේ රස්සාව රෙදි ඇපිල්ලීම.මොහු රදා නම් පහත් කුලයේ කෙනෙක්.මොහුගේ පව්ලේ සාමාජිකයන්
සමාජයේ උසස් යැයි සම්මත කුලවලුන්ගෙන් බැට ආකාරය කතාව පුරාවටම දිවෙයි.මේ නිසා ඔවුන්ට නිදහසේ පිනක් දහමක් හෝ කිරීමට අවස්තාවක් නොමැත .අනතුරුව වීරප්පුලි හේනයා තම බිරිඳ සමග අනුරාධපුර වන්දනාවේ යයි.ඔහුට සිය දියනිය පවා අහිමි වන්නේ මේ කුලවතෙක් නිසාය.අවසානයේ සිදු වන්නේ තවත් පරම්පරාවක් මේ කුල භේදය නිසා බැට කෑමයි.ඒ ඔහුගේ මුනුපුරායි.ඔහුට ගමේ පාසලෙන් අකුරු ඉගෙනීමට ගමේ බවලතුන් අවස්තාවක් නොදේ.කාලයත් සමග ඔහුගේ මුනුපුරා ඔහුගෙන් ඈත් වේ.අවසානයේ සිදු වන්නේ වීරප්පුලි හේනයා සිය දිවි නසා ගැනීමයි .එසේ ඔහු පිට කරන්නේ රදලයන් නිසා ඔහු විදි පීඩනයන්ය.

ඒ අනුව ඉතාම රසවත් භාෂාවක් යොදා ගනිමින් සිත් ඇදගන්නා සුලු සිදුවීම් යොදා ගනිමින් අපූරුවට ගලා යන කතාවක් ලෙස සෙංකොට්ටන් නම් කල හැක.මෙහි කතා තේමාව සර්ව කාලීන නිසා ඔබ මේ පොත ඉතා ආශාවෙන් රස විදිනවාට කිසිදු සැකයක් නැත.